Independent Sri Lankan think tank on poverty and development

වංචා හා දූෂණ ජනතා යහපැවැත්මට බලපාන්නේ කෙසේද? ආර්ථික කළමනාකරණය සහ දූෂණය ජනතා ඇසින්

ආචාර්ය එච්.එම්. ගුණතිලක
ප්‍රශානි සේනධිලංකාර
නුලක්ෂි දිසානායක විසින්

පසුබිම

ශ්‍රී ලංකාවේ දේශපාලනික හා සමාජ-ආර්ථික සාකච්ඡාවල හරය ලෙස වංචා සහ දූෂණ පිළිබද ගැටළු දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන අතර 2015 මැතිවරණ ව්‍යාපාරයෙන් පසු මෙම මාතෘකාව පිළිබඳ උනන්දුව තවදුරටත් වැඩි විය. නව ආණ්ඩු තෝරා පත් කර ගැනීම සඳහා, තරඟකාරී දේශපාලන පක්ෂ දූෂණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය බෙහෙවින් බලපා ඇත. එපමණක් නොව, පත් කරන ලද රජයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ මහජන අනුමතිය රඳා පවතින්නේද දූෂණය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරය මත ය. ආර්ථික අර්බුදය 2022 සිට ආරම්භ වුනු අතර ජාත්‍යන්තර අධීක්ෂණ අරමුදලේ (IMF) රාජ්‍ය පාලනය පිළිබද හදුනා ගැනීමේ වාර්තාව රට තුළ දූෂණයේ අදාළත්වය සහ වැදගත්කම තවදුරටත් පැහැදිලි කළේය. දූෂණයෙන් තොර පාලනයක් සහ දූෂිත දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ජාතික ජන බලවේගය (NPP) රජය බලයට පත්වූ අතර එය ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයක් ඇති සමාජයේ උගත් කොටස්, ශාස්ත්‍රඥයින්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ සංවිධාන අතර රට මුහුණ දෙන රාජ්‍ය පාලනය සහ දූෂණය ආශ්‍රිත ගැටළු පිළිබඳව මනා අවබෝධයක් ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පොදු ජනතාව දූෂණය ඔවුන්ගේ යහපැවැත්මට සෘජුව හෝ වක්‍රව බලපාන වැදගත් කරුණක් ලෙස කොතරම් දුරට තේරුම් ගෙන තිබේද යන්න වැඩිදුර අධ්‍යනය කිරීමට සුදුසු කාරණාවකි. මෙම සන්දර්භය තුළ, මෑත කාලීනව සිදු කෙරූ මහජන අදහස් විමසු සමීක්ෂණයක සොයාගැනීම් වලට අනුව ආර්ථිකයට සහ ඔවුන්ගේ යහපැවැත්මට දූෂණයේ බලපෑම් මහජනතාව තේරුම් ගන්නා ආකාරය මෙම ලිපිය තුලින් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක නිවාස 2611 ක් ආවරණය වන පරිදි, දරිද්‍රතා විශ්ලේෂණ ඒකකය (CEPA) විසින් මෙම සමීක්ෂණය සිදු කරන ලදී. දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සමීක්ෂණයේ අරමුණු වලට ගැළපෙන පරිදි තෝරා ගන්නා ලද අතර, ග්‍රාම නිලධාරී කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුළ ඇති කුටුම්භ අහඹු ලෙස තෝරා ගන්නා ලදී. ප්‍රශ්නාවලිය සැකසීමේදී, සමික්ෂකවරුන් තෝරා ගැනීමේදී සහ පුහුණුව ලබා දීමේදී, සමීක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී සහ දත්ත රැස් කිරීමේදීද සම්මත පිළිගත් උපමාන දැඩි ලෙස අනුගමනය කරන ලදී. මෙම සමීක්ෂණය 2024 ඔක්තෝබර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළදී සිදු කෙරුණි.ආර්ථික අර්බුදය , කොවිඩ්-19 වසංගතය, දිගුකාලීන ආර්ථික කළමනාකරණය සහ දූෂණයට පසුබ්මි වූ හේතු හඳුනා ගැනීම සඳහා මෙම සමීක්ෂණයේ ප්‍රශ්න සකස් කරන ලදී. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් පමණ 78% ක් පමණ ආර්ථික අර්බුදයට හේතුව ලෙස කොවිඩ් – 19 වසංගතයේ දායකත්වය හඳුනාගෙන ඇත. මෙම ලිපිය රාජ්‍ය පාලනය සහ දූෂණය ආශ්‍රිත ගැටළු කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. ආර්ථික අර්බුදයට හේතු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නන්ට ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලද අතර, ඔවුන් දැඩි ලෙස එකඟ වන්නේද, එකඟ වන්නේද, මධ්‍යස්ථව සිටින්නේ ද, එකඟ නොවන්නේද, නැතහොත් දැඩි ලෙස එකඟ නොවන්නේද යන්න සඳහන් කරමින් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටින ලදි.

ආර්ථික ප්‍රතිපත්තිවල යෝග්‍යතාවය සහ ඒවා ක්‍රියාත්මක කිරීම

ආර්ථික අර්බුදය ඇති වීමට හේතුවක් ලෙස “නායකයින් නිවැරදි ප්‍රතිපත්ති දැන සිටියේ නැත” යන ප්‍රකාශය ඉදිරිපත් කළ විට – 32% ක් දැඩි ලෙස එකඟ වූ අතර 37% ක් එකඟ වූහ. සමස්තයක් වශයෙන්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 69% ක් විශ්වාස කරන්නේ රටේ නායකයන්ට සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව හොඳ දැනුමක් නොතිබූ බවයි. ප්‍රකාශයට එකඟ නොවූයේ 7% ක් පමණි. ප්‍රතිචාර දැක්වූවන්ට ඒ හා සමාන ප්‍රකාශයක් ලබා දුන් විට, හොඳ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට 27% ක් දැඩි ලෙස එකඟ වූ අතර 38% ක් එකඟ වූහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 65% ක් හොඳ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ප්‍රකාශ කළ අතර, එම ප්‍රකාශයට එකඟ නොවූයේ 6% ක් පමණි. මෙම ප්‍රකාශ දෙකටම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 11-13% ක් පමණ ප්‍රකාශ කළේ මෙම ගැටලුව පිළිබඳව තමන්ට ස්ථිර මතයක් නොමැති බවයි. මෙම සොයාගැනීම්වලින් හෙළි වන්නේ කුමක්ද? ඉතා තරඟකාරී ගෝලීයකරණය වූ පරිසරයක සමෘද්ධිමත් වීමට විද්‍යාත්මක හා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය අත්‍යවශ්‍ය වන යුගයක, මහජනතාව විශ්වාස කරන්නේ අපට දැනුමැති ප්‍රතිපත්ති සම්පාදකයින් නොසිටි බවත් හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔවුන් උත්සාහ නොකල බවය. මේ අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ දුර්වල ආර්ථික පාලනය ආර්ථික අර්බුදයට හේතුවක් බවයි.

දූෂණය සහ ආර්ථික අර්බුදය

විද්වතුන්, වෘත්තිකයන් සහ දේශපාලන නායකයින් අතර දූෂණය පිළිබඳ නිරන්තර කතිකාවතක් පැවතුනත් , එය ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් ලෙස මහජනතාව සලනවාද යන්න ප්‍රශ්නාර්තයකි. මෙය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට, දේශපාලන නායකයින් විසින් සිදු කරනු ලබන දූෂණය සහ සොරකම් ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස මහජනතාව සළකනවා දැයි යන්න අපි සමීක්ෂණයේ දී විමසා බැලුවෙමු . එහි ප්‍රතිඵල වලට අනුව ආර්ථික අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස දේශපාලකයන්ගේ දූෂණය සහ සොරකම් කිරීම සලකන බවට 42% ක් පමණ දැඩි ලෙස එකඟ වූ අතර 35% ක් එකඟ වූහ. මේ අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 77% ක් එක්ව දේශපාලන නායකයින්ගේ දූෂණය ආර්ථික අර්බුදයට හේතුවක් බව විශ්වාස කරති. එකඟ නොවූයේ 3% ක් පමණි. කෙසේ වෙතත්, 11% ක් මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු ස්ථිර මතයක් ප්‍රකාශ කළේ නැත.
එමෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය සහ සොරකම පිළිබඳවද අප විමසා සිටුවෙමු. ඒ සඳහා ද ඉහත හා සමාන ප්‍රතිචාරයක් ලැබුණි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 38% ක් පමණ රජයේ නිලධාරීන් විසින් සිදු කරන දූෂණය සොරකම් කිරීම ආර්ථික අර්බුදයට හේතුවක් බවට දැඩි ලෙස එකඟ වූ අතර 34% ක් පමණ එකඟ වූහ. එනම් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 72% ක් රජයේ නිලධාරීන් විසින් සිදු කරන දූෂණය සහ සොරකම් කිරීම ආර්ථික අර්බුදයට හේතුවක් බව විශ්වාස කරති. එකඟ නොවූයේ 3% ක් පමණක් වන අතර 13% ක් මෙම ගැටලුව පිළිබඳව කිසිදු ස්ථිර මතයක් ප්‍රකාශ නොකළහ. මේ අනුව, දේශපාලන නායකයින් සහ රජයේ නිලධාරීන් යන දෙදෙනාම දූෂිතයින් බවත් ඔවුන්ගේ දූෂිත ක්‍රියාවන් ආර්ථිකයේ බිඳවැටීමට හේතුවක් බවත් මහජනතාව විශ්වාස කරති. ප්‍රතිඵලවලට අනුව පෙනී යන්නේ දේශපාලන නායකයින්ගේ දූෂණය රජයේ නිලධාරීන්ට වඩා ඉහළ බවට මහජනතාව විශ්වස කරන බවයි.
තවද ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයකට පාලනය සහ දූෂණ ගැටළු සම්බන්ධයෙන් ස්ථිර මතයක් නැත. මධ්‍යස්ථ සහ නොදන්නා කාණ්ඩ මගින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ යහපැවැත්මට වැදගත් වන කරුණු පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය නොමැතිකමයි. මෙම කාණ්ඩය නියැදියෙන් 22%-29% ක් පමණ නියෝජනය කරයි. 1 වන වගුවේ ප්‍රතිඵලවලට අනුව, ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත්භාවයක් හෝ ස්ථිර මතයක් නොමැතිකම දූෂණය පිළිබඳ දැනුවත්භාවයක් හෝ ස්ථිර මතයක් නොමැතිකම වඩාට වඩා ඉහළ බව පෙනේ. රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව බහුතරයකට යම් අදහසක් ඇති අතර, ජනගහනයෙන් හතරෙන් එකක් පමණ බොහෝ දෙනෙකුට රට දරිද්‍රතාවයට හා අසරණභාවයට තල්ලු කළ ආර්ථික අර්බුදය පිටුපස ඇති හේතු පිළිබඳව අවබෝධයක් නැත. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ ආර්ථික කරුණු පිළිබඳ දැනුවත්භාවයක් ගොඩනැගීම තවදුරටත් ශ්‍රී ලංකා සමාජය තුළ කාර්යභාරයක් ඇති බවයි.

නිගමනය

මෙම සමීක්ෂණයේ සොයාගැනීම් පුදුම සහගත නොවිය හැකි නමුත් එහි වැදගත් පණිවිඩ කිහිපයක් තිබේ. පළමුව, මහජනතාවගෙන් බහුතරයක් දූෂණය තමන්ගේ යහපවැත්මට අදාල කාරණයක් ලෙස සලකති. පාලක පක්ෂයේ දූෂණ විරෝධී කටයුතු සඳහා මහජනතාවගේ සහයෝගය ලැබෙන බව එය නැවත තහවුරු කිරීමකි. දූෂිත නොවී සිටීම සහ අතීත දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීම මහජනතාව විසින් අගය කරනු ඇත. මෙම සොයාගැනීම් විපක්ෂයට ද ප්‍රබල පණිවිඩයක් ද සපයයි. සමහර විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දැනට හැසිරෙන පරිදි, දූෂණ වල බලපෑම් වල බරපතලකම අඩු කිරීමට උත්සාහ කිරීම වෙනුවට ඔවුන් සිදු කල යුත්තේ
ඔවුන්ට දේශපාලන අනාගතයක් ලබා ගැනීමට නම් ඔවුන් තමන්වම පුනරුත්තාපනය කර, දූෂණ විරෝධී ලෙස
හැසිරීමට කටයුතු කිරීමය. දෙවනුව, මෙම අධ්‍යනය සුදුසු ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබද මහජන මතය ඉස්මතු කරයි. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවේශය තක්සේරු කිරීමට තවමත් කල් වැඩිය . මේ මොහොතේ ආර්ථිකය 5% ක පමණ වර්ධනයක් සමඟ හොඳින් ක්‍රියාත්මක වන නමුත් මන්දගාමී වීමේ සම්භාවිතාව ජාත්‍යන්තර ආයතන මගින් පෙන්වා දෙති. අවසානයේ දී රජය කෙරෙහි මහජන කැමැත්ත රඳා පවතින්නේ රට කෙතරම් ධනවත්ද යන්න මතය. ඒ සදහා දූෂණය අඩු කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. එබැවින් දූෂණයට එරෙහිව කටයුතු කරන අතරතුර නිවැරදි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ඒවා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. තෙවනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය සහ දූෂණ ගැටළු පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය තරමක් ඉහළ මට්ටමක පවතින නමුත් එය වැඩිදියුණු කල යුතුය
.

Share this article