විදුලිය යනු තවදුරටත් අපගේ නිවෙස් ආලෝකමත් කිරීම පමණක්ම නොවේ. එය දැන් අපගේ දෛනික ජීවිතයේ කොඳු නාරටිය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මධ්‍යයේ, විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ට දැඩි ලෙස පහර වැදුනු අතර, මුලික අවශ්‍යතාවයක් ලෙස පවතින විදුලිබලය බරපතල ගැටළුවක් බවට පත් වුණි.
2024 දී, රට ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් මාවතක ගමන් කිරීමත් සමඟ පාරිභෝගිකයින් මත මෙම පීඩනය ලිහිල් කිරීම සඳහා රජය යම් සහනයක් ගෙන ආවේය. 2024 මාර්තු 4 වන දින සැලකිය යුතු විදුලි ගාස්තු අඩුකිරීමක් හඳුන්වා දෙන ලද අතර, එහි අඩු කිරීම 21.9% ක් වූ අතර, නැවතත් 2024 ජූලි 16 වන දින 22.5% කින් විදුලි ගාස්තු අඩු කෙරුණි. මෙය අපව වැදගත් ප්‍රශ්නයක් වෙත යොමු කරයි: මෙම විදුලි ගාස්තු අඩු කිරීම මගින් ඇත්තටම ඇති කළ බලපෑම කුමක්ද? ( 2025 ජනවාරි මාසයේ දී 25% ක විදුලි ගාස්තු අඩු වීමක් සහ 2025 ජුනි මාසයේ දී 15% ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදු වූ අතර මෙම ලිපියේ දී අවදානය යොමු කරනුයේ 2024 වර්ෂයේ දී සිදු වු විදුලි ගාස්තු සංශෝධන පිළිබද පමණි)
CEPA විසින් දිස්ත්‍රික්ක 12 ක නිවාස 2613 ක නියැදියක් භාවිතා කරමින් විදුලි ගාස්තු වැඩි වීමේ බලපෑම පිලිබඳ සිදු කල අධ්‍යනයේ පසු විපරම් අධ්‍යනයක් ලෙස එම නියදියෙන් අහඹු ලෙස තෝරාගත් නිවාස 1035 ක් 2024 වර්ෂයේ සිදු වූ විදුලි ගාස්තු අඩු කිරීම නිවෙස් වලට ඇති කෙරූ බලපෑම අධ්‍යනය කිරීමට සම්බන්ධ කර ගන්නා ලදී.
අපගේ අධ්‍යයනයට අනුව විදුලි ගාස්තුව සහ ගෘහස්ථ විදුලි පරිභෝජනය අතර පැහැදිලි සම්බන්ධයක් පෙන්නුම් කරයි. 2022 සහ 2023 මුල් භාගයේදී ගාස්තු අධික ලෙස වැඩි කළ විට, සියලුම ආදායම් මට්ටම් වල නිවෙස් විදුලි පරිභෝජනය දැඩි ලෙස පහත දැමූහ . එසේම, මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ 2024 දී විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසුව, විශේෂයෙන්ම ජූලි මාසයේ දෙවන අඩු කිරීමෙන්ද පසුව විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි වූ බවයි. මෙහිදී ඉහළ ආදායම් ලබන පවුල්, අඩු ආදායම්ලාභී පවුල් වලට වඩා ඔවුන්ගේ විදුලි පරිභෝජනය වැඩි කරගෙන ඇත. අඩු ආදායම්ලාභී පවුල්වල බොහෝ දෙනෙක් තවමත් ආර්ථික අර්බුදයට පෙර ඔවුන් විදුලි පරිභෝජනය කල මට්ටමට නැවත පැමිණ නැත. මෙයින් පෙනී යන්නේ ප්‍රකෘතිමත් වීම අසමාන බවත්, බලශක්ති ප්‍රකෘතිමත් වීමේ මාවතේ අවදානමට ලක්විය හැකි පවුල්වල්ට සහාය වීම සඳහා වඩාත් ඉලක්කගත ප්රතිපත්තිවල අවශ්‍යතාවය ඉස්මතු කරන බවත්ය.
මුලාශ්‍රය : CEB සහ LECO වෙතින් ලබාගත් දත්ත මත පදනම් වූ කතෘ ගණනය කිරීම් .
විදුලි ගාස්තු අඩු කළද, සමීක්ෂණයට ලක් කල පවුල් වලින් 31% ක් පමණ පැවසුවේ එය තවමත් දැරිය නොහැකි බවයි. එයටත් වඩා අවදානයට ලක් කල යුතු දෙය නම්, බිල්පත් නොගෙවීම හේතුවෙන් 2024 සැප්තැම්බර් මාසයෙන් පසුත් 7% ක පවුල් ප්‍රමාණයක් විදුලිය විසන්ධි කිරීම්වලට මුහුණ දුන් බවයි. මෙම විසන්ධි කිරීම්වලින් පෙනී යන්නේ විදුලි බිල අඩු කිරීම බොහෝ දෙනෙකුට සහනයක් ලබා දුන්නද, සියලුම පවුල් බලශක්ති දුෂ්කරතාවයෙන් මුදවා ගැනීමට එය ප්‍රමාණවත් නොවූ බවයි.
ඉහළ විදුලි ගාස්තු අය කාල සීමාවේදී වැඩියෙන්ම භාවිතය නතර කරන ලද විදුලි උපකරණ ලෙස විදුලි කේතල/හීටර් සහ රයිස් කුකර් බව අපි හඳුනා ගත්තෙමු. එබැවින් එම නිවාස විදුලි කේතල/හීටර් සහ රයිස් කුකර් භාවිතා කිරීම නැවත ආරම්භ කර ඇත්දැයි අපි මෙම පසුවිපරම් අධ්‍යනයේ දී සොයා බැලුවෙමු. විදුලි කේතල/හීටර් භාවිතා කිරීම නැවැත්වූ අයගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පැවසුවේ ඔවුන් නැවත ඒවා භාවිතා කිරීමට පටන් ගත් බවයි. රයිස් කුකර් සඳහා ද ඒ හා සමාන ප්‍රතිඵලයක් දක්නට ලැබුණි.
සටහන: නිවෙස් වල විදුලි පරිභෝජනයේ වෙනස්කම් පරීක්ෂා කිරීම සඳහා, අපි පහත මාසවල දත්ත විශ්ලේෂණය කළෙමු:
2022 ජුනි : ආර්ථික අර්බුද නිසා විදුලි ගාස්තු වැඩිවීමට පෙර පරිභෝජනය නියෝජනය කිරීම ,
2022 නොවැම්බර් : 2022 අගෝස්තු අර්බුදකාරී කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කරන ලද පළමු වටයේ විදුලි ගාස්තු වැඩිවීම් වලින් පසුව
2023 මැයි : 2023 පෙබරවාරි මාසයේදී හඳුන්වා දුන් දෙවන විදුලි ගාස්තු වැඩිවීමෙන් පසු
2024 ජනවාරි : 2023 ඔක්තෝබර් මාසයේදී තුන්වන විදුලි ගාස්තු වැඩිවීමෙන් පසු
2024 මැයි : 2024 මාර්තු මාසයේදී පළමු වටයේ විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසුව සහ
2024 සැප්තැම්බර්: 2024 ජූලි මාසයේදී දෙවන වටයේ විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසුව
අඩු විදුලි ගාස්තුවේ ධනාත්මක බලපෑම වඩාත් පැහැදිලිව පෙනුනේ පවුල් තම වියදම් කළමනාකරණය කරන ආකාරය තුළ ය. ඔවුන්ගෙන් අඩක් පමණ පැවසුවේ අඩු විදුලි ගාස්තු නිසා ඇති වූ ඉතිරිකිරීම් ආහාර, සෞඛ්‍ය සේවා හෝ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වැඩිපුර වියදම් කිරීමට උපකාරී වූ බවයි. තවත් සමහරු ඉතිරිකිරීම් භාවිතා කළේ තම ණය ගෙවීමට (9%) හෝ විදුලි උපකරණ භාවිතය වැඩි කිරීමෙන් (8%) ඔවුන්ගේ ජීවන තත්ත්වය තරමක් වැඩිදියුණු කිරීමට ය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට (36% ) එම් සහනය තවමත් විශාල වෙනසක් කිරීමට නොහැකි තරම් කුඩා විය.
මූලාශ්‍රය : සමීක්ෂණයෙන් ලබා ගත් දත්ත මත පදනම් වූ කතෘ ගණනය කිරීම්
අපි ඔවුන්ගෙන් ව්දුලි බිල සඳහා ඉදිරි යෝජනා විමසූ විට, බොහෝ දෙනෙකුට (90% කට ආසන්න) විදුලි මිල තවදුරටත් අඩු කිරීමට අවශ්‍ය විය. තවද අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලි සහනාධාර වැනි ඉලක්කගත සහාය ද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා රජයේ වැඩි අවධානයක් ද ඉල්ලා සිටියහ. සම්මුඛ පරීක්ෂණයට ලක් කළ නිවාසවලින් බහුතරයක් අඩු මිලට විදුලිය අපේක්ෂා කරති. කෙසේ වෙතත්, රට සහනාධාර මිලට විදුලිය ලබා දීමේ පෙර පිළිවෙතට ආපසු නොයා යුතුය. මන්ද එහි ප්රතිලාභ ලබා ගන්නේ දුප්පත් නොවන අය විසිනි . දුප්පත් නිවාසවලට නිසැකවම ඉහළ විදුලි මිල ගණන් වලට එරෙහිව යම් ආරක්ෂණක් අවශ්‍ය වේ. එවැනි, ආරක්ෂණයක් සිදු කිරීමේදී, දුප්පත් නිවාස හොඳින් ඉල්ලක කර ගත යුතු අතර , දැනට ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන සමග ඒකාබද්ධව මෙය සිදු කිරීමේ හැකියාව සලකා බැලිය යුතුය.
කතෘ :
ප්රශානි සේනාධිලංකාර
කණිෂ්ඨ පර්යෙක්ෂක
දරීද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය